ශාස්ත්‍රාලීය බුද්ධිමතා හා දේශපාලන ක්‍රියාධරයා – අජිත් පැරකුම්

2013-09-11

(මෙය ශාස්ත්‍රීය අධ්‍යයනයක් නො වන බව කරුණාවෙන් සලකන්න. මෙය සංවාදය අරමුණු කර ගත් දේශපාලන ලියවිල්ලකි) 

දීප්ති කුමාර ගුණරත්න හා නිර්මාල් රංජිත් දේවසිරි අතර නො කෙරෙන විවාදය ආශ්‍රිතව සමාජය වෙනස් කිරීමේ දේශපාලනයේදී දේශපාලන ක්‍රියාධරයා හා ශාස්ත්‍රාලීය බුද්ධිමතා යන දෙදෙනාගේ භූමිකාවන් පිළිබඳ යම් සංවාදයක් ඇති වී තිබේ.

සමාජය වෙනස් කිරීම යනු දේශපාලන කාර්යයක් නිසා එහි මූලික වගකීම තිබෙන්නේ දේශපාලන ක්‍රියාධරයාට ය. එහෙයින් විපර්යාසයේ වැදගත් ම දායකයා වන්නේ ඔහු ය.

ශාස්ත්‍රාලීය බුද්ධිමතාගේ කාර්යභාරය ඊට වඩා වෙනස් එකකි. ශාස්ත්‍රාලීය බුද්ධිමතා ශාස්ත්‍ර විද්‍යානුකූල ක්‍රමවේද භාවිතා කරමින් ශාස්ත්‍රීය අධ්‍යයන හා පර්යේෂණ කරයි. ඒ ඔස්සේ නිගමනවලට එළඹෙමින් මතවාද ඉදිරිපත් කරයි. ඒවා පිළිබඳ සංවාද පවත්වාගෙන යයි.

ශාස්ත්‍රාලීය බුද්ධිමතාගේ බුද්ධිමය නිෂ්පාදන දේශපාලන ක්‍රියාධරයාට අතිශය  වැදගත් ය. දේශපාලන ක්‍රියාධරයා ඒවා උපයෝගී කර ගනියි. ඒවා ඔහුට/ඇයට මග පෙන්වයි. එහෙත් දේශපාලන ක්‍රියාධරයාගේ කටයුතු තීරණය වන්නේ අර‍ගල භූමියේ ඓතිහාසික, භූගෝලීය හා සමාජ ආදී සාධක මතයි. දෘෂ්ටිවාදයන් ඔහුගේ භාවිතාව තුළ පරීක්ෂාවට ලක් වේ.

දේශපාලන ක්‍රියාධරයා මත ශාස්ත්‍රාලීය බුද්ධිමතාගේ ආධිපත්‍යය ධනේශ්වර දේශපාලන අවකාශයේදී ක්‍රියාත්මක වන්නේ සුමට ලෙසයි. නිදසුනක් ලෙස, ආර්ථිකය සම්බන්ධයෙන් කෙතරම් විද්වතුන් සිටියත්, ලංකාවේ ආර්ථිකය හසුරුවන්නේ මහින්ද, බැසිල්‍, ගෝඨාභය ‍බෑයන් හා පී.බී. ජයසුන්දර, අජිත් නිවාඩ් කබ්රාල් වැනි ඔවුන්ගේ ගජ මිතුරන් කී‍ප දෙනෙකු විසිනි. එහිදී ශාස්ත්‍රාලීය බුද්ධිමතුන්ගේ විද්‍යාත්මක ක්‍රමවේද අදාළ කර ගන්නා සීමාව දේශපාලන බලය විසින් සලකුණු කරනු ලැබේ.

එහෙත් වාමාංශික දේශපාලන අවකාශය තුළ මෑතක සිට ශාස්ත්‍රාලීය උණක් වැළ‍ඳෙමින් තිබේ. වාමාංශික නැඹුරුවක් සහිත ශාස්ත්‍රාලීය බුද්ධිමත්තු දේශපාලන අරගලය මත සිය ආධිපත්‍යය පතුරුවන්නට දරණ උත්සාහයක් නිරීක්ෂණය කළ හැකි ය.

ඔවුහු සිය ශාස්ත්‍රාලීය ශික්ෂණය නම් ගිනි අවි අමෝරාගෙන පැමිණ දේශපාලන ක්‍රියාධරයා අරගළ භූමියෙන් පළවා හරින්නට උත්සාහ කරන ආකාරයක් දක්නට ලැබේ. මෙය වහා පිටු දැකිය යුතු තත්වයකි.

මෙහිදී මූලික වරද කර ගත්තේ දේශපාලන ක්‍රියාධරයා විසිනි. ඒ සිය අනන්‍යතාව වෙනුවට ශාස්ත්‍රාලීය බුද්ධිමතාගේ අනන්‍යතාව වැළඳ ගන්නට උත්සාහ කිරීමෙනි. දේශපාලන ක්‍රියාධරයා තම ක්‍රියාකාරිත්වය ශාස්ත්‍රාලීය බුද්ධිමතාගේ ශාස්ත්‍ර විද්‍යාත්මක උපකරණ මත පදනම් කර ගත යුතු නැත. ඒ වෙනුවට තමන්ගේ විද්‍යාව හඳුනා ගැනීමට පර්යේෂණ පැවැත්වීමට අවස්ථාවක් ශාස්ත්‍රාලීය බුද්ධිමතාට ලබා දිය යුතු ය.

මේ සිද්ධිය දීප්ති වැනි දේශපාලන ක්‍රියාධරයන් හා නිර්මාල් රංජිත් දේවසිරි වැනි ශාස්ත්‍රාලයීය බුද්ධිමතුන් අතර සිදු වූ හැටි විමසා බලමු. X කණ්ඩායම සමාජ දේශපාලන සංවාදයට මැදිහත් වන්නේ ශාස්ත්‍රාලීය ශික්ෂණය බල්ලාට දමා දේශපාලන ස්වරූපයකින් ශාස්ත්‍රාලීය බුද්ධිමතුන් ප්‍රශ්න කරමිනි. නිර්මාල් රංජිත් දේවසිරි ද සිය දේශපාලනයේ දෙවන අවධියේ දේශපාලනිකව තහවුරු වන්නේ මෙම අරගළය හරහා ය.

සුනාමි දවසේ කැඩී බිඳී යාමෙන් පසු, X කණ්ඩායම තුළ ශාස්ත්‍රාලීය ශික්ෂණයට මුල් තැන ලැබෙන්නට පටන් ගන්නේ කල්‍යා‍, මධූවන්ත වැනි දේශපාලන ක්‍රියාධරයන් වෙනුවට නිර්මාල්, ප්‍රභා වැනි ශාස්ත්‍රාලීය බුද්ධිමතුන් ද, ශාස්ත්‍රාලීය ශික්ෂණයට මුල් තැන දෙන විශාල පිරිසක් ද නව කණ්ඩායමේ ආධිපත්‍යය තහවුරු කර ගනිමිනි. හෙරිටේජ් ඉනීෂියේටිව් වැනි ව්‍යාපෘති ඔස්සේ දේශපාලන ක්‍රියාධරයා ශාස්ත්‍රාලීය ශික්ෂණයෙන් මෙල්ල කිරීමේ හා දේශපාලන ක්‍රියාධරයා ශාස්ත්‍රාලීය ශික්ෂණ විද්‍යා‍වේ නිර්ණායකවලින් ඇගයීමේ උත්සාහයක් තිබිණි. ශාස්ත්‍රාලීය බුද්ධිමතා ඉදිරියේ ක්‍රියාධරයාගේ දන නැමීම සංකේතාත්මක කළ චරිතයක් වන්නේ බාහිර උපාධි, ශාස්ත්‍රපති උපාධි ආදිය හරහා ශාස්ත්‍රාලීය බුද්ධිමතකු වන ගමන් මගක සිටි ප්‍රදීප් ය. අප දන්නා ප්‍රදීප් යනු මකලා හැදිය නො හැකි දේශපාලන ක්‍රියාධරයෙකි. වෘත්තීය වශයෙන් ඉංජිනේරුවකු වූ නිශාන්ත කුලරත්න තුළ පවා මම නම් දුටුවේ සුන්දර දේශපාලන ක්‍රියාධරයකු මිස ශාස්ත්‍රාලීය බුද්ධිමතකු නො වේ.

X කණ්ඩායම විසින් ප්‍රවර්ධනය කරන ලද ශාස්ත්‍රාලීය ශික්ෂණයේ පරමාදර්ශය නිර්මාල් වන්නට පුළුවන. ඔහු එතරම් ම ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාවක් ඇත්තෙකි. තමන් නිර්දය අන්දමින් විවේචනය කරන මිනිසුන් සමග පවා කිසිදු අහිතක් නැතිව සම්මුඛ වීමේ දුලබ මිනිස් ගුණයක් නිර්මාල් තුළ ඇත. එහෙත්, ශාස්ත්‍රාලීය ශික්ෂණය හා දේශපාලන ක්‍රියාකාරිත්වය යනු නො පෑහෙන සත්‍යයන් දෙකකැයි මම සිතමි. නිර්මාල් ප්‍රජාතාන්ත්‍රික සංවාදයකින් දීප්ති පැරදවීමට යද්දී දීප්ති කියන්නේ නිර්මාල් හෙළිදරව් කරන බවයි. හෙළිදරව් කරනවා ය යන්නෙන් ඔහු අදහස් කරන්නේ නිර්මාල්ගේ පවුල තුළ අර්බුදයක් නිර්මානය කිරීම මිස අන් කුමක් ද? එහෙත්, දේශපාලන ක්‍රියාධරයන්ගේ හැටි එහෙම ය. මා පවා සිටින තැන වන්නේ හිරු කණ්ඩායමේ ශාස්තෲන් නිරුවත් කළ යුතු ය කියන තැන ය. එය සමාව දීමේ උතුම් මානව ගුණ‍ය සමග නො පෑහෙන බව ඇත්තකි. එහෙත්, දේශපාලනයේ හැටි එහෙම ය. මම එය හරි යයි නො කියමි. 

දීප්ති ද ශාස්ත්‍රාලීය ශික්ෂණ කාමයෙන් ආසාදනය වී සිය අනන්‍යතාව නැති කර ගත්තේ ය. සැබෑ ශාස්ත්‍රාලීය ශික්ෂණයක් නැති බුවාලා ඇකඩමික් වෙන්නට යාම ඇත්තෙන් ම ජෝක් එකකි. මන්ද, එයින් වන්නේ ඇකඩමික් වීම නො ව, සිය ඇකඩමික් හීනමානය ප්‍රදර්ශනය වීමයි. මේ උණ හිරු කණ්ඩායමට ද ‍බෝ වි තිබුණු අතර, සටන්කරුවාට වඩා පොත් කියවන්නා උඩ යන්නට පටන් ගත්තේ ය. “අහවල් පොත් කියෙව්වද, කියෙව්වෙ නැතිනම් ඔයා දේශපාලනය දන්නෙ නැහැ,” වැනි කියමන් මේ දේශපාලන ව්‍යාපාර තුළ නිතර ඇසෙන්නට විය. 

අනෙක් පැත්තෙන් ශාස්ත්‍රාලීය ශික්ෂණය යනු ධනේශ්වර අධ්‍යාපන දෘෂ්ටිවාදයන් මත පදනම් වූ  එකක් ය යන්න ද එය හිස් මුදුනින් වැළඳ ගත් අයට අමතක විය.

දේශපාලන ක්‍රියාධරයාට පොත් යනු තමන් කියවන බව ප්‍රදර්ශනය කරමින් අනුන් මත බලය පැතිරවීම සඳහා ඇති ආයුධයක් නො වේ. දැනුම යනු ඔහුට සිය විප්ලවීය ජීවිතය ගොඩනඟා ගැනීම සඳහා ඉවහල් වන ‍පෝෂණ මාධ්‍යයකි. 

දේශපාලන ක්‍රියාධරයා මත ආධිපත්‍යය පිහිටුවන්නට ශාස්ත්‍රාලීය බුද්ධිමතාට කිසි සේත් ම නො හැකි ය. එවැනි උත්සාහයකින් සිදු වන්නේ දේශපාලන ක්‍රියාධරයාත් ශාස්ත්‍රාලීය බුද්ධිමතාත් අතර සුවිසල් පරතරයක් නිර්මානය වීම පමණි. 

අසවල් පොත කියවා තිබේදැයි සෙසු අයගෙන් උජාරුවෙන් අසන අනුකාරක බුද්ධිමතුන්ට අනුකම්පා කළ යුතුව තිබේ. දැනුමින් මිනිසකු ලැබිය යුතු පළමු ශික්ෂණය වන්නේ දැනුම අවියක් ලෙස නො ව මෙවළමක් ලෙස භාවිතා කිරීමයි. 

http://www.w3lanka.com/2013/09/blog-post_11.html

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )